අල‍සෝ ගිහී කාම‍‍භෝගී න සාධු !

අලස වූ කා‍මභෝගී ගිහියා යහපත් නොවේ යන්න මෙයින් අදහස් වේ. අලසකම කාට වුවද නොගැලපෙන්නකි. ගිහි පැවිදි කවුරුත් අනලස්ව උත්සාහ වන්ත විය යුතුය. ගිහි ජීවිතය ගත කරන පින්වතා අලසයෙක් වුවහොත් ඔහුගේ රැකියාව නිසි පරිදි කර ගත නොහැතිය. එවිට ගිහි ජීවිතය ගෙනයෑම අපහසු වනවා පමනක් නොව දුක් සහිත ද වනවා ඇත.

ගිහියනට ඇති සැප සතරකි. අත්ථි සුඛ හෙවත් යමක් මට ඇත,කෑම් බීම් ඇදුම් පැලදුම් ම්ල මුදල්ද මට ඇත යන ආදීන් ඇතැයි කියන්නට හැකිවීම සුඛයකි. ‍භෝග සුඛ හෙවත් ලැබුන දැයින් තමන්ගෙන් යැපෙන්නට සිටින දෙමාපිය  අඹු දරු ආදී පිරිසටද හැකි පමණින් සංග්‍රහයක් කොට දුකසේ සපයා ගත් මිල මුදලෙන් හරි හැටි ප්‍රයො‍්ජන ගැනීමද සුවයෙකි. අනණ සුඛ හෙවත් ණය නොවී සිටීමද තවත් සැපයෙකි. ණය වීම නිසා බොහෝ විට දුක් සහිත ජීවිත ගත කිරීමට සිදු වේ. ආදයමේ හැටියට වියදම් කිරීම හෙවත් සමජීවිකතාව  යන මේ පමණ දැන වියදම් කිරීම ණය නොවී සිටීමේ හාදම මගයි. සතර වැන්න අනවජ්ජ සුඛ වේ. එනම් නිවැරදි කම නිසා ලැබෙන සුවයයි. හොද කෙනෙක්ය සත් පුරුෂයෙක් ය යන මේ හොද නම ලැබිය හැක්කේ නිවැරදි ජීවිතයක් ගෙවන තැනැත්තා විසිනි. හැම දෙනාම සතුට කිරීම අපහසුවක් මෙන්ම හැම විට හොද නම ලබා ගැනීමත් අපහසු බවද සිතාගත මැනවි.

අලසකමේ ඇති දොස් දැන අනලසව තිරදිරින් ක්‍රීයා කිරීම ගිහි ජීවිතය සාර්ථක කැරැ ගැනීමේ මග බවද දැන නිතර දෙවේලේ උත්සාහවත් වීම මැනවි.

උපුටා ගැනීම – සිතිවිලි සියය – බම්බලපිටිය වජිරාරාමවාසී පියදස්සී ස්වාමීන් වහන්සේ

Advertisements